පළාත් සභා ඡන්දය මේ වසර මැදදී

පළාත් සභා මැතිවරණය මේ වසර මැදදී පැවැත්වීමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය සතියේ දී පැවැත්වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සංශෝධන සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල්  පුංචිහේවා අප අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් ද පසුගිය දා පවත්වා තිබෙනවා.

එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එම පක්ෂ නායකයන් එකගතාව පළ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයාද  මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් ඒ සඳහා නීති සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. සීමානිර්ණය අවසන් කර නොමැති නව පළාත් සභා පනත  පාර්ලිමේන්තු යෝජනාවක් මගින් ඉවත් කරගත යුතු අතර එසේත් නොමැති නම් නව පනත තිබියදී පැරණි පනත අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු වෙනවා.

එම නීතිමය තත්වයන් සියල්ල සකස් කළද පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශවල නිර්දේශ ද අත්‍යවශ්‍යයි.

මෙවැනි පසුබිමක් තුළදී ජනාධිපතිවරයා අනිද්දා පස්වරුවේ විශේෂ සාකච්චාවක් කැදවා තිබෙනවා.

ඒ සඳහා පළාත් සභා විෂය භාර අමාත්‍යවරයා ,එම අමාත්‍යංශයේ ලේකම්වරයා, නීති විශාරදයන් මෙන්ම, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද එක්වීමට නියමිතයි.