අමනුෂ්‍ය දෝශයක් ඉවත් කිරීමට වේවැලකින් පහරදුන් දැරියක් මියයයි

මීගහවත්ත දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී පහරදීමකට ලක්වූ කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි දැරියක් බවයි පොලිසිය කියාසිටියේ.

මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් අනතුරුව වේවැලකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එහිදී දැරිය සිහිසුන්වී ඇති අතර බියගම රෝහලට ඇතුලත් කිරීමේදී හෙළිවී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි.

දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට දැන ගැනීමෙන් පසු  අදාළ දේවාලය පවත්වාගෙන යනු ලබන කාන්තාව වෙතට රැගෙන ගොස් ඇත්තේ ඇයගේ මව විසින් බව ද සඳහන්.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළව ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ ශාන්තිකර්මය දින 3 ක් පුරා සිදුකර ඇති අතර, ඊයේ දිනයේදී සිදුකළ පහරදීම් හේතුවෙනුයි දැරිය සිහිසුන්වී ඇද වැටී ඇත්තේ.

පසුව ඊයේ රාත්‍රියේම අදාළ දැරිය, ප්‍රදේශවාසීන් විසින් බියගම ප්‍රාදේශීය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර, එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඳුබොඩ ප්‍රදේශයේ පදිංචි ෆාතිමා රිෆ්ෆා නැමති 9 හැවිරිදි දැරියක්.

මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද දින එම ස්ථානය පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ වේවැල් පහකින් අදාළ දැරියට පහරදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශාන්තිකර්මය සිදුකළ කාන්තාව පොලිස් භාරයට ගෙන ඇති අතර, මවද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසියට කැඳවා තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ මෙවැනි අවිධිමත් ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් මීට පෙර ද කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් ද මියයාමේ සිදුවීම් වාර්තා වී ඇති බවයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් සියලුදෙනා අවදානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පොලිසිය පෙන්වා දෙනවා.