සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට පෙත්සමක් භාරදෙයි

දේශපාලන පළිගැනීම්  පිළිබඳව සොයාබැලූ කොමිසමේ වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල පැහැර ගැනීමක් සිදු වී තිබෙන හෙයින් එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස සමගි ජන බලවේගය විසින් අද (02) අගවිනිසුරුවරයා ට පෙත්සමක් භාර දී තිබේ.

සමගි ජන බලවේගය පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙකු විසින් අත්සන් කරනු ලැබූ එම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී කාර්යාලයට භාර දුන්නේය.

එම පෙත්සම මඟින් සඳහන් කර ඇත්තේ, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කොමිසමේ අවසන් වාර්තාව මඟින් නිකුත් කර තිබෙන ඇතැම් විදේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල හෑල්ලුවට ලක්කර ඇති බවය.

ඒ අනුව අදාළ කොමිසමේ කොමසාරිස්වරු වශයෙන් කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන අය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) යන වගන්තිය යටතේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට පරීක්ෂණයක් පවත්වා තීන්දු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම උපාලි අබේරත්න සහ චන්ද්‍රසිරි ජයතිලක යන කොමසාරිස්වරුන්ගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!