ගිනියා රාජ්‍යයේ 1,600කට ඉබෝලා එන්නත් ලබාදෙයි

ගිනියා රාජ්‍යයේ පුද්ගලයන් 1,600කට වැඩි පිරිසකට ඉබෝලා වෛරස් එන්නත් ලබාදී ඇති අතර, එරට ඉබෝලා පැතිරීම ආරම්භ වූ නවතම තත්ත්වය සමග පුද්ගලයන් 4 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

කෙසේ වෙතත් මෙම රෝගය පාලනය කිරීම සඳහා වැඩි ජීවිතාරක්ෂක එන්නත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද වන විට, බටහිර අප්‍රිකානු රටේ ඉබෝලා රෝගීන් 18ක් වාර්තා වී ඇති අතර, ඉන් 14ක් තහවුරු වූ රෝගීන්ය. එමෙන්ම තවත් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී මිලියන භාගයක් පමණ වූ ගෝලීය ඉබෝලා මර්දන එන්නත් තොගයෙන් ලබාගත හැක්කේ එන්නත් 30,000ක් පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඉබ්‍රාහිමා සොකේ ෆෝල් පැවසුවේ ආසාදනය වීමට බොහෝදුරට ඉඩ ඇති අයට පමණක් එන්නත ලබාදීමෙන් රෝගය පැතිරීම වළක්වන උපාය මාර්ගයක් අනුගමනය කරන බවයි.

“අපි ආසාදිතයන්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා ඔවුන් සමග සම්බන්ධ වූවන් එන්නත් කරනවා. මේ උපාය මාර්ගයෙන් අපට මෙවැනි රෝග පැතිරීම පාලනය කිරීමට හැකි වී තිබෙනවා. නමුත් අපට තවත් එන්නත් අවශ්‍ය වන බව පැවසිය යුතුයි” යැයි වෛද්‍ය ෆෝල් පැවසීය.

“ආසාදනයන් පැතිර යාම වෙනත් රටවලට ව්‍යාප්ත වුවහොත් අපට ඇත්තේ සීමිත එන්නත් තොගයක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික සෞඛ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් යාඕ පැවසීය.

ගිනියාවේ අවසන් වරට ඉබෝලා පැතිරීම 2014 දී ආරම්භ වූ අතර, එය ඉක්මනින් අසල්වැසි ලයිබීරියාව සහ සියරා ලියොන් දක්වා ව්‍යාප්ත විය. අවසාන වශයෙන් එය පාලනය කර ගන්නා විට, 1976 දී වෛරසය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට මාරාන්තිකම ඉබෝලා වසංගතය බවට පත්වූයේ ආසාදිතයන් 28,000ක් සහ මරණ 11,000ක් සමගිනි.

වර්තමාන ඉබෝලා වසංගතය සම්බන්ධ එක් අභියෝගයක් නම්, කොවිඩ්-19 වසංගතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ නැගී එන වෙනත් රෝග කාරකවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය මෙවලම් කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීම වඩාත් අපහසු කරවීම බවද කියැවෙයි.