SI විසින් ඝාතනය කළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වේ

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු “හිස රහිත තරුණියගේ“මළ සිරුර සම්බන්ධයෙන් අද (09) පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, තරුණියගේ මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියකගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමග මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ඝාතනයට ලක්වු තරුණිය ගැබිනියක් නොවන බවත්, මරණයෙන් ඇයගේ හිස වෙන්කර ඇති බවත්, රාත්‍රී ආහාර ගෙන පැය 2 – 3ක් අතර කාලයේ දී මියගිය බවට හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන්ගෙන් ලද තොරතුරකට අනුව “හිස නොමැති තරුණියකගේ“ මළ සිරුරක් ට්‍රැවලින් බෑගයක බහා තිබියදී මාර්තු 1 වන දා පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

ඒ අනුව එම මළ සිරුර සම්බන්ධයෙන් සහ එය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් සීසීටීවී දර්ශන ඔස්සේ  පුළුල් මෙහෙයුමක් දියත් කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව තහවුරු කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් විය.

පසුව සැකකරු පදිංචිව සිටි බඩල්කුඹුර වෙහෙරගොඩ ප්‍රදේශයේ රබර් වත්තක ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියේය.

සැකකරු මිය ගොස් සිටි ස්ථානය අසල වස කුප්පියක්ද දක්නට ලැබුණු බව පොලීසිය පැවසීය.

මෙලෙස සියදිවි හානිකරගත් පොලිස් නිලධාරියා අධිකාරී මුදියන්සෙලාගේ ප්‍රේමසිරි නමැති  52 හැවිරිදි තිදරු පියෙකි.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනිමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබඳ පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.