තවත් කොරෝනා එන්නතකින් සාර්ථක ප්‍රතිඵල

මෙරට කොරෝනා වෛරස් එන්නත් ලැබූ සංඛ්‍යාව මේ වනවිට හත්ලක්ෂ 59,548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (11) රාත්‍රියේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ දිනයේදීද තවත් 7,450 දෙනෙකු ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් ලබාගෙන ඇති බවයි.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන පසුගිය ජනවාරි 29 වනදා ආරම්භ වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම නොවවැක්ස් නැමති ඇමරිකානු කොරෝනා එන්නත මුල් කොරෝනා වෛරස් ප්‍රභේදය සඳහා සියයට 96 ක ශක්‍යතාවක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ නවතම සායනික අධ්‍යයන වලින් අනාවරණ වී තිබෙනවා.

එමඟින් අතුරු විපාක හෝ මරණ වාර්තාවී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඇමරිකානු නොවවැක්ස් එන්නත් සමාගම විසින් නිෂ්පාදිත මෙම එන්නත මගින් බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදයට එරෙහිව සියයට 86 ක ශක්‍යතාවක් පෙන්නුම් කරන බව සඳහන්.

සමස්තයක් ලෙස සියලු කොරෝනා වෛරස් ප්‍රභේද වැළැක්වීමේ සියයට 90 ක හැකියාවක් ඊට පවතින බවයි නවතම සායනික පරීක්ෂණවලින් පසු ප්‍රකාශ වී ඇත්තේ.

මාත්‍රා දෙකකින් සමන්විත මෙම එන්නත ඇමරිකා එක්සත් ජනපදය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ සිව්වන එන්නත විය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මීට පෙර ෆයිසර් – බයොඑන්ටෙක්, මොඩර්නා සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් සඳහා ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනයේ අනුමැතිය හිමිවුණා.

මෙම එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය ඇතුලු ලොව පුරා පිහිටි නිෂ්පාදනාගාර අටක නිපදවීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර කොරෝනා මර්ධන එන්නතට ප්‍රතිරෝධී වෛරස ප්‍රභේද ඇතිවිය හැකි බැවින් ඊට අදාල පරීක්ෂණ සදහා පහසුකම් පුළුල් කල යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.