amazon ලක් ධජය සහිත පාපිසි හා පාවහන් දැන්වීම් ඉවත්කරගනියි!

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් amazon වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

-උපුටා ගැනීම –

චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබී ඇත.

මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී, ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

තානාපති කාර්යාලය විසින් ඇමසොන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස ලිපියක් මගින් ඉල්ලා සිටින ලදී. මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

මෙම තානාපති කාර්යාලය මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

– උපුටා ගැනීම අවසන් –

මේ අතර, ඕනෑම රටක ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් සකස් කළ පාපිස්නාවක් ඇමේසන් වෙබ් අඩවිය තුළ අලෙවි කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය මේ බව කියා සිටියේය.

එම පාපිස්නාව චීන නිෂ්පාදකයෙක් විසින් නිකුත් කර තිබූ අතර එම නුසුදුසු ප්‍රචාරය පිළිබඳව තානාපති කාර්යාලය අවධානය යොමුකර ඇති බවද එම නිවේදනයේ දැක්විණි.

ඒ පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ චීන බලධාරීන් වෙත දැනුම් දී ඇති බවත්, විවිධ රටවල වෙළෙන්දන් විසින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ජාතීන්ගේ ධජ සහිත සමාන නිෂ්පාදන දහස් ගණනක් ඇමසන් වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවද තානාපති කාර්යාලය සිය නිවේදනයේ දක්වා තිබිණි.

ද්විපාර්ශ්වික ක්‍ෂේත්‍රවල හෝ ජාත්‍යන්තර වේදිකාවලදී කුමක් වුවත්, දශක ගණනාවක් තිස්සේ චීනය ශ්‍රී ලංකාවේ සාමය, සමෘද්ධිය සහ ගෞරවය වෙනුවෙන් ගරු කරමින් සහයෝගය ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබිණි.