මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන බුද්ධි අංශ අධ්යක්ෂගෙන් CIDයට පැමිණිල්ලක්
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්රවෘත්ති සාකච්ඡාවකදී තමා සම්බන්ධයෙන් අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ සිදු කළ බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඔහු ඊයේ දිනයේදී නීතිඥයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් යොමුකර තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.
අද දිනයේදී බුද්ධි අංශ අධ්යක්ෂවරයා එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
පසුගිය 17 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකළා.
නලින් බණ්ඩාර මහතා අදාළ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ කරුණු හේතුවෙන් ද්වේශය සහ වෛරය ඇතිවන අතර එමෙන්ම මැලේ ජාතිකයෙකු වන තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවටයි සුරේෂ් සලෙයි මහතා සඳහන් කර ඇත්තේ.
එමෙන්ම රටේ ආරක්ෂාවට සහ බුද්ධි සේවයේ ප්‍රතිරූපයට ද මෙමගින් හානියක් සිදුවිය හැකි බවට ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වාදී තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලෙයි මහතා හමුවී ඇති බව සහරාන් හෂීම්ට මැලේසියාවට ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට යාමට සුරේෂ් සලෙයි විසින් පහසුකම් සැපයූ බවට සහ ඉන්දියාවේ පුහුණුවකට ගොස් අර්ධ වශයෙන් එම පුහුණුව නිම කර ශ්‍රී ලංකාවට පැමිණි බවට මන්ත්‍රී නලින් බණ්ඩාර අදාළ මාධ්‍ය හමුවේදී චෝදනා කර තිබුණා.
මෙම සියලු කරුණු සහ සහරාන් පිළිබඳ සුරේෂ් සලෙයි සතුව දැනුමක් තිබුණ ද කිසිදු අවස්ථාවක ඔහු පාස්කු කොමිසමට නොකැඳවූ බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශකර තිබුණේ.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා සිදු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙම සියලු කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවටයි.
තමාට කිසිදු අවස්ථාවකදී සහරාන් හමුවී නොමැති අතර ඔහුට කිසිදු පහසුකමක් ලබා නොදුන් බව ද මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි පැමිණිල්ල මගින් ප්‍රකාශකර තිබෙනවා.
එමෙන්ම තමා අවස්ථා 3කදී පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් බව ද ඔහු සඳහන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පූර්ණ විමර්ශණයක් සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.