දැවිතෙල් ප්‍රවාහනය නියාමනයට පියවර

නැව් මගින් බැහැර කරන දැවිතෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇති වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වාර්ෂිකව දැවි තෙල් කිලෝ ලීටර් 64,000ක් පමණ මෙරටට ගෙන එන බවට අනාවරණය වී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එම දැවිතෙල් අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් පිළිකා, චර්ම රෝග, ශ්වසන ආබාධ වැනි රෝගාබාධ රැසකට මහජනතාව ගොදුරු වීමේ අවදානමක් මතුව තිබේ.

නැව් මගින් බැහැර කරන දැවිතෙල් යොදා ගැනීම විශාල ජාවාරමක් දක්වා වර්ධනය වී ඇති අතර ඒවා රට තුළ ප්‍රවාහනය කරන ඇතැම් පුද්ගලයින් රහසිගත ආකාරයෙන් ජල මූලාශ්‍රවලට මුදාහැරීම මගින් විශාල පරිසර හානියක් සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වාදෙයි.

දැවි තෙල් ප්‍රවාහනය කිරීම විධිමත් ආකාරයෙන් නියාමනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

බවුසර් මගින් දැවිතෙල් ප්‍රවාහනය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

දැවිතෙල් ප්‍රවාහනය කිරීම සඳහා දැනට ආයතන 23 කට බලපත්‍ර ලබාදී ඇති අතර ඉන් ආයතන දෙකක් විසින් ඒවා ගබඩා කර තබා ගැනීම සිදුකරන බව වාර්තා වේ.

දැවිතෙල් ප්‍රවාහනය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නියාමනය කිරීමට පියවර ගෙන ඇති බැවින් කිසියම් බලපත්‍රලාභියෙක් ඒවා පරිසරයට මුදාහරින්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට මෙන්ම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!