රවී ඇතුළු පිරිසට පිටු ලක්ෂ 11ක ලේඛණ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට පිටු ලක්‍ෂ 11 කින් යුත් ලේඛණ තොගයක් නීතීපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (23දා) බාර දෙන ලදී.

මෙම ලේඛණ තොගය ගෙන යෑමේ අපහසුතාවය සඳහන් කරමින් විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සතියක කාලයක් තුළ මෙම ලේඛණ රැගෙන යෑම සඳහා විත්තිකරුවන්ගේ නීතීඥවරුන්ට අවසර ලබාදුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රජයේ මුද්‍රණාලයේ මාර්ගයෙන් මුද්‍රණය කරවා ගෙන විත්තිකරුවන් 11 දෙනාට බාරදීම සඳහා රැගෙන ආ පිටු ලක්‍ෂ 11 කින් යුත් ලේඛණ තොගය කොළඹ අංක 01 මහාධිකරණ ශාලාවේ එක් කොනක ගොඩ ගසා තිබෙන අයුරූ දැකගත හැකි විය.

මෙම නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කොට සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා හෙට (24දා) දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (23දා)  නියම කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන්  පළිසේන, එම සමාගමේ සේවකයින් වන, චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් මහා බැංකු නිලධාරීන් වන එස්. පදුමනාභන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් වුයේ නැති අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව අධිකරණයට වාර්තා කොට ඇත.