පළමු පාසල් වාරය අප්‍රේල් 9 වනදායින් අවසන්

මෙම වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 9 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම දෙවන පාසල් වාරය අප්‍රේල් 19 වනදා ආරම්භ කෙරෙන බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුලුව මෙතෙක් ආරම්භ නොකල අනෙක් ශ්‍රේණි ලබන සඳුදා (29) වන දින ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාලසීමාව ඉකුත්වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවටයි.

ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් සූදානම් කිරීම වෙනුවෙන් අද (26) සිට 28 දක්වා දින 3ක් වෙන්කර තිබෙනවා.

පාසල් ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බවටයි එහි අවධාරණය කර ඇත්තේ.

පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබාදිය යුතු බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයෙන් පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද මාර්ගෝපදේශ සටහනක් ද චක්‍රලේඛයේ ඇතුලත්.

ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි.

සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වනවා.

සිසුන් 30 වැඩි වශයෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශකර ඇත්තේ.

අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලුදෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව සඳහන්.