සූවස් ඇල ලෝක ආර්ථිකයේ ගෙල සිර කරයිද ?

ඊජිප්තුවේ සුවස් ඇල හරස් කරමින් සිරවී ඇති විශාල කන්ටේනර් නැව තවමත් ඉවත් කිරීමට හැකිවී නැහැ.

මෙ වන විට දින 5ක් එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිටීම නිසා ලෝක ඉන්ධන මිල හා අනෙකුත් ආහාර මිල ගණන් ඉහළයාමේ තත්වයක් ඇතිවී තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 0.7කින් ඉහළ ගිය අතර, එය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 62.38ක් ලෙසයි.

සිර වී ඇති නෞකාව ඉවත් කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බව මේ වන විට වාර්තා වන අතර, එම නිසා තෙල් වෙළදපොළ සැපයුම් මන්දගාමී වනු ඇති බව ආර්ථික පර්යේෂකයන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, යුරෝපා රටවල කොරෝනා සීමා යළි වර්ධනය වීමත් සමඟ ගෝලීය ඉන්ධන ඉල්ලුම යථා තත්ත්වයට පත්වීමට කල් ගත වනු ඇති බවට ද අපේක්ෂා පළ වනවා.

එම නිසා ඇතැම් විට ඉන්ධන වෙළදපොළ මත පවතින ඉල්ලුම පාලනය විය හැකි බව ද විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

අදාළ නෞකාව සිරවීමත් සමග යුරෝපය හා ආසියාව අතර සැපයුම් මාර්ග සහමුලින්ම ඇනහිට ඇති අතර මේ වන විට මෙම නැව් මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා 300ට අදික සංඛ්‍යාවක් සිරවී තිබෙනවා .

මෙම නැව සිරවීමට හේතුවූ දරුණු සුළං තත්වය මෙ වන විට පහව ගොස් තිබුණද තවමත් මෙම නැව ඉවත් කර ගැනීමට හැකිවී නැහැ.

එවර්ග්‍රීන් නැව් සමාගමට අයත් මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කර ඇති අතර එය  චීනයේ සිට නෙදර්ලන්තය වෙත යාත්‍රා කරමින් සිටියදී මෙම අනතුරට ලක් වුණා.

ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 ක්.

මේ වන විට ටග් යාත්‍රා අටක්  එම නෞකාව කෙලින් කිරිමේ මෙහෙයුමට එක්ව සිටියද තවමත් එය සාර්ථක වී නැහැ.

කෙසේ වෙතත් ලෝක ආර්ථික විශේෂඥයින් අනතුරු හඟවන්නේ මෙම තත්වය තව දුරටත් පැවතිය හොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කරනු ඇති බවටයි.

වර්ශ 1859 ඉදිකිරීම් ආරම්භ කල කිලෝමීටර් 193ක දිගින් යුත් සූවස් ඇල 1869 දී වැඩ අවසන් කල අතර එය ආසියාව හා යුරෝපය යා කරන කෙටිම මුහුදු මාර්ගයයි.