දංකොටුවෙන් සොයා ගත් පොල්තෙල් බවුසර් අධිකරණ නියෝග නොකතා රේගුවට භාරදීම ගැන විමර්ශන

අධිකරණ නියෝග නොතකමින් පිලිකාකාරක අඩංගු බවට සැක කෙරෙන පොල්තෙල් බවුසර් දංකොටුව පොලිසිය විසින් රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ පොලිස්පතිවරයාට නියෝග කළා.

අද මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දංකොටුව පොලිසියටද දැඩි ලෙස අවවාද කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පෙරේදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම බවුසර් දෙක සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දංකොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙම බවුසර් අධිකරණ භාරයේ තබා රස පරීක්ෂක වාර්තාව කැඳවන ලෙසයි.

එහෙත් පොලිසිය අද පෙරවරුවේ පොලිස් ආරක්ෂාව සහිතව මෙම බවුසර් දෙක රේගුවට භාරදුන් අතර, පස්වරුවේ යළි නඩුව කැඳවමින් මාරවිල මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මේ අතර, විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිවාරණ නිලධාරියා වෙත මෙම බවුසර් භාරදුන් බවයි. පසුව අදාළ බවුසර් දෙකෙන් ලබාගන්නා පොල්තෙල් සාම්පල හෙට දිනයේදී රජයේ රස පරීක්ෂකවරයාට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට භාරදීමට නියමිතයි.

මෙම බවුසර් දෙකෙහි සිය දෙපාර්තමේන්තුවේ මුද්‍රාව නොතිබුණු බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ප්‍රකාශ කළා. ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගියදා පිළිකා කාරක අඩංගු බවට හෙළිවූ බවුසර 13 න් බහුතරයක්ම මෙම පොල්තෙල් ගෙන්වූ සමාගමට අයත් බවට හෙලි වුණා. මෙම රථවලට මුද්‍රා තබා ඇති අතර, ඒවා දංකොටුව ප්‍රදේශයට රැගෙනවිත් ඇත්තේ සැඟවීමටද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන පවත්වනවා.

මේ අතර, ඇෆ්ලටොක්සීන් නැමති පිළිකා කාරක අඩංගු වියලි මිරිස් කිලෝග්‍රෑම් විසි දහසක් පමණ ප්‍රතිඅපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක ඒකකය නියෝග කර තිබෙනවා.

මීට මසකට පමණ පෙර මෙරටට ගෙන්වා ඇති මෙම මිරිස් තොගය අඩංගු බහලුම සම්බන්ධයෙන් සිදුකළ පළමු පරීක්ෂාවේදී නියමිත ප්‍රමාණය ඉක්මවා ඒවායේ ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු ව තිබී ඇති අතර, ඊයේ සිදුකළ දෙවන පරීක්ෂාවේදීද ඒ බව තහවුරු වීමෙන් පසුවයි මෙලෙස ප්‍රති අපයනය කිරීමට නියෝග කර ඇත්තේ.

එම වියලි මිරිස් ඉන්දියාවේ සිට මෙරට ව්‍යාපාරිකයෙකු විසින් දිවයිනට ආනයනය කර තිබෙනවා.