ඩී අයි ජී 10ක් ඇතුළු පොලිස් ලොක්කන් 14 කට මාරු
– හිටපු සීඅයිඩී නි. පොලිස්පති වෙදිසිංහ ගාල්ලට
– හිටපු මාධ්‍ය ප්‍රකාශක ජාලිය කන්කසන්තුරේට
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 14 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසම මගින් මාරු කර යවා ඇත.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරුට එරෙහි විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතා ගාල්ල දිස්ත්‍රික්කය භාරව මාරුකර යවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු ඒ මහතා බස්නාහිර උතුර භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළේය.
මේ අතර මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරේ පොලිස් කොට්ඨාසයේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කර යවා ඇත.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.
මාරුකර යවා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙසේය.
සංජීව මැදවත්ත මහතා පොලිස් මානව සම්පත් කළමනාකරණ දිසාව භාරවත්, එම්. එස්. සිසිර කුමාර වන්නි දිසාව භාරවත්, එස්. ටී. එස්. පී. සන්දනායක මොනරාගල දිසාව භාරවත්, එල්. ඒ. සෙනෙවිරත්න මහතා සංචාරක දිසාව භාරවත්, කේ. ඞී. ඞී. ඒ. ජේ. කරවිට මහතා පොලිස් ප්‍රවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා ඇත.
එච්. එන්. කේ. ඩී. විජය ශී‍්‍ර මහතා බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, ඒ. අයි. ජේ. චන්ද්‍රකුමාර පොලිස් තොරතුරු තාක්ෂණ දිසාව භාරවත්, ඊ. එම්. යූ. වී. ගුණරත්න පරිසර ආරක්ෂණ දිසාව භාරවත්, මාරුකර යවා තිබේ.
මේ අතර පොලිස් අධිකාරි එච්. ඩී. එස්. යූ. ජයසේකර මහතා කොළඹ දකුණ කොට්ඨාසය භාරවත්, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ජී. එල්. වෙත්තසිංහ මහතා සුභසාධන කොට්ඨාසයටත්, එච්. එම්. කුමාරසිංහ මහතා මාතර කොට්ඨාසයටත් මාරුකර යවා ඇත.