පොල්තෙල් ගැන අයි.ටී.අයි. වාර්තාව අද
ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු දැයි අනාවරණ කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලබා දුන් පොල්තෙල් සාම්පලවල ප්‍රතිඵල අද ලබාදිය හැකිවනු ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනය ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ එම සාම්පල වාර්තා සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
ආනයනික පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බවට අනාවරණ වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කළයුතු බවට නිර්දේශ කළා.
අනතුරුව අදාළ පොල්තෙල් වෙළදපොළට නිකුත් නොවන බවට තවදුරටත් තහවුරු කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි ගබඩා මුද්‍රා තැබීමටයි පියවර ගනු ලැබුවේ.
එසේම, සැක සහිත ආනයනික පොල්තෙල් සාම්පල් සියල්ලේම ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය අන්තර්ගත වී ඇති බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය රේගු දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ලබාදෙමින් සඳහන් කළා.
මෙම පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික්ක 24ම ආවරණය වන පරිදි අහඹු සාම්පල ලබා ගැනීමට පසුගියදා ආරම්භ කළා.
ඒ අනුව එම සාම්පලවල ප්‍රතිඵල මෙලෙස අද නිකුත් කෙරෙනු ඇති.
මේ අතර, දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පොලීසිය පසුගිය 29 වැනිදා සොයාගත් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් ලීටර 55,000 අඩංගු බවුසර් දෙක වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ රේගු දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.
ඒ අනුව අදාළ බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පල අද රජයේ රස පරීක්ෂකවරයාට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට භාරදීමට නියමිතයි.