පිළියන්දල පිරිවෙනක හිමිවරුන් 75 ක් ඇතුළු 85ක් නිරෝධායනයට

පිළියන්දල, කහපොල, සිළුමිණ පිරිවෙනේ වැඩ වාසය කරනු ලබන හිමිවරුන් 75 ක් ඇතුළු 85 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (14දා) නිරෝධායනයට යොමුකළ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමන්තිකා විජේසුන්දර මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

එහි වැඩ වසන සාමණේර හිමිනමකගේ මවක් උන්වහන්සේ බැලීමට පසුගිය 04 වැනිදා එම පිරිවෙනට පැමිණ තිබේ. එලෙස පැමිණි ඇය එම සාමණේර හිමියන් ඇතුළු අනෙකුත් හිමිවරුන් සමඟ කතාබහ කර කටුනායක නිවස බලා ගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පිරිවෙනට පැමිණ ගිය ඇයට දින කීපයකට පසු කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවී තිබේ. මෙම මව කටුනායක ඇඟලූම් කම්හලක සේවිකාවක බවටද හෙළිවිණැයි ද විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.

නිරෝධායනයට යොමුකළ පිරිස අතර, එම පිරිවෙනේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පෙදරේරුවන් සහ සේවකයින් වන බවද, එම මව පිරිවෙනට පැමිණි මොහොතේ එහි ඉදිකිරීම් කටයුත්තක්ද සිදුවෙමින් තිබී ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය කියා සිටියාය. ඉදිරි දින කීපය තුළදී මෙම හිමිවරුන් ඇතුළු සියලූ දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවත්, එම ප‍්‍රතිඵල අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඇය සඳහන් කළාය.

මීට අමතරව මෙම කාලය තුළ (ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු) පිරිවෙනට ආගිය පිරිස සොයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඇය කියා සිටියාය.

මෙම සිදුවීමත් සමඟ පිරිවෙන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.