යාපනයේ නගරාධිපති මනිවන්නන් ඇප මත නිදහස්
පොලිස් අත්අඩංගුවට පත්ව සිටි යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ඇප මත නිදහස් කර තිබේ.
යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අත්අඩංගුවට ගෙන තිබූ ඔහු, වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුවී තිබුණු අතර, නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයද පවසා තිබුණේ ඡන්දයෙන් තේරීපත් වූ නිලධාරියෙකු විසින් සිදුකර ඇතැයි පැවසෙන යම් වරදක් පිළිබඳව, පොලිස් ක්‍රියාමාර්ග ගැනීමට පෙර, අදාල අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට සිය පක්ෂය විශ්වාස කරන බවයි.