මීගමුව මහ රෝහලේදී මියගිය බවට තහවුරුකර තිබූ රෝගීයා පැය 2කට පසු ඇස් අරියි

වෛද්‍යවරයෙකු විසින් මියගිය බවට තහවුරු කර මෘත ශරීරාගාරයට යැවූ පුද්ගලයෙකුට නැවත සිහිය ලැබීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට අදාළ රෝගියා එම රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීගමුව දුංගල්පිටිය පිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සිල්වා මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 09 වනදාය.

ඒ ඔහුගේ රුධිරයේ සීනී මට්ටම අඩුවීම හේතුවෙනි.

ඇලෙක්සැන්ඩර්ගේ බිරිඳ විසින් ඔහුව මීගමුව මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂාකර තිබුණි.

එහිදී අදාළ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ රෝගියා මියගොස් ඇති බවටය.

පසුව රෝගියා මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබුණි.

රෝගියාගේ පවුලේ ඥාතීන්ද මෘත ශරීරාගාරයට ගොස් ට්‍රොලිය මත තිබූ සිරුර පරීක්ෂාකර තිබුණේ රෝහල් පොලීසිය ඥාතීන්ට කළ දැනුම්දීමෙන් අනතුරුවය.

එම අවස්ථාවේදී බිරිඳගේ හැඬීමත් සමග එක්වරම ට්‍රොලියේ සිටි රෝගියාගේ මුව සෙලවීමට පටන්ගෙන තිබේ.

ඒත් සමගම බිරිඳ හඬ නගමින් රෝහල් කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ සිය ස්වාමියා මියගොස් නැති බවය.

වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාව එම රෝහලේ 4වෙනි වාට්ටුවට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණි.

කෙසේවෙතත් මියගිය බව පැවසීමත් සමග රෝගියා පැය 2කට ආසන්න කාලයක් මෘත ශරීරාගාරයේ ට්‍රොලියේ රැඳී සිට තිබුණි.

“මම එයා ළඟට යනකොට ඉටි රෙද්දෙනුත් වහලයි තිබුණේ. මම ඉටිරෙද්ද ඇරලා බැලුවා. මම කෑ ගහනකොට එයා කට හෙළෙව්වා. එහෙම්මම එයා ට්‍රොලියෙන් බැහැලා ඇඳටත් ගියා. දැන් හොඳින් ඉන්නවා. මොළය මැරිලයි කියලා තමයි කියලා තිබුණේ,” ප්‍රතිකාර ලබන ඇලෙක්සැන්ඩර් සිල්වාගේ බිරිඳ දීපිකා සජානි පැවසුවාය.

මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රුධිරයේ සීනි මට්ටම අඩුවී රෝගියා සිහිසුන්ව සිට ඇති බවය.

රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව මහ රෝහල් අධ්‍යක්ෂවරිය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවද වාර්තා වේ.