නව දිල්ලියට ඇඳිරිනීතිය

ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (15) දිනයේ වාර්තා වී තිබුණි.

විදෙස් වාර්තා පවසන්නේ හින්දු බැතිමතුන් මිලියන සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කුම්භමේලා උත්සවය පසුගිය දින දෙක තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයකට හේතු වී ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දීය සෞඛ්‍ය අංශ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය කොවිඩ් සුනාමියකට සමාන කර තිබේ.

ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ හඳුනාගෙන තිබුණේ පෙර දින වාර්තාව නැවත අලුත් කරමිනි. එම ගණන 216,850 කි.

අඛණ්ඩව තෙවන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ද 1000 සීමාව ගියේය.

මේ වසරේ මුලදී ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූයේ ආසාදිතයන් 10,000කට අඩු ගණනකි.

කෙසේ නමුත් අප්‍රේල් 6 වැනිදා සිට අඛණ්ඩව ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වේ.

ආසාදිතයන් වාර්තා වීමේ වේගය අඩු වීමත් සමඟ වැඩිම ආසාදිතයන් ලැයිස්තුවේ තෙවැනි තැනට පත්වූ ඉන්දියාව අප්‍රේල් 2 වැනිදා නැවත දෙවැනි තැනට පත්විය.

වෛරසයේ නව ව්‍යාප්තිය පාලනයට දෙවැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය වී ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඊයේ සිට ලොක්ඩවුන් කර තිබේ.

මෙම ලොක්ඩවුන් සීමා අප්‍රේල් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වීමට නියමිතය.

ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.

මේ අතර කොවිඩ් සිව්වනි රැල්ලකට මුහුණ පා සිටින  ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලි නුවරට සති අන්තයේදී ඇඳිරි නීතිය පැනවීමට නියමිතය.

දරාගත නොහැකි මට්ටමට ආසාදිතයන් වැඩිවීම හමුවේ නවදිල්ලි නුවර රෝහලක් රෝගීන් දෙදෙනෙකුට එක් ඇඳක් බැගින් ලබාදීමට මෙලෙස කටයුතු කර තිබුණි.