විදුලි කණුවක් නිවසක් මත කඩා වැටේ – CEB සේවකයින්ට නිවැසියන්ගෙන් ගුටි

ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ කණ්ඩායමකට බහිරවකන්ද ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී තිබේ.

විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටිම හේතුවෙන් එම සිද්ධිය සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ මාර්ගයක ස්ථාපනය කර තිබු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවක් අසල තිබු නිවසක් මතට කඩාවැටි එම නිවසට දැඩි අලාභහානි සිදුවී තිබුණි.

එම නිවසට කඩාවැටුණු විදුලි කණුව ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ නිලධාරින් සමග සේවකයින් පස් දෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසින් පිරිසක් ඔවුන්ට පහරදී ඇත්තේ විදුලි කණුව නිසි ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිතව ස්ථාපනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවට චෝදනා කරමිනි.

ප්‍රහාරයට ලක්වූ නිලධාරීන් දෙදෙනෙකු සහ එක් සේවකයෙකු මහනුවර මහ රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

කෙසේවෙතත් පහරදීමෙන් පසුව විදුලි නඩත්තුව සිදුනොකිරීම නිසා මහනුවර, මාපානවතුර ප්‍රදේශයේ කොටසකට, බහිරවකන්ද කොටසක, අස්ගිරිය ප්‍රදේශයේ කොටසකට ඊයේ සිට විදුලිය සැපයීමක් සිදුකර නොමැති බව ප්‍රදේශවාසින් චෝදනා කරයි.

පහරදීම සම්බන්ධයෙන් මහනුවර කොට්ටඨාසය භාර ජෙ.පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ පහරදුන් පිරිස ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ය.

කෙසේවෙතත් පහරදුන් පිරිස අත්අඩංගුවට නොගතහොත් හෙට දිනයේදී මධ්‍යම පළාත තුළ විදුලි සැපයීමට බාධා එල්ල විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් තාක්ෂණික ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.