දියවන්නාවට වූ දේ හෙළිවෙයි

පාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔය අවට පැතිරෙමින් පවතින ජලය දුර්වර්ණ වී අවපැහැ ගැන්වීම Algae Bloom නැතහොත් ඇල්ගී අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් නිසා ඇතිවන්නක් බව තහවුරු වී තිබේ.

මෙම ඇල්ගී වර්ධනය ඉදිරියේ දී තවදුරටත් නරක තත්ත්වයට පත්වීමේ අවධානමක් පවතින අතර එම නිසා අවට පරිසරය තුළ දැඩි දුර්ගන්ධයක් පවා ඇතිවීමේ තත්ත්වයක් ඉස්මතුවිය හැකි යැයි විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම පාරිසරික ගැටළුවට විසඳුමක් ලබා දීම සඳහා විශේෂඥ දැනුමක් සහිත කාර්ය සාධක බලකායක් පත් කිරීමට නියමිත අතර ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යෝජිතය.  මේ වනවිට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කර අවසන් කර ඇති අතර මීලඟ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

එතෙක් අදාල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ සම්බන්ධව ක්‍රියා කළ හැකි පාර්ශ්ව කිහිපයක් දැනට හඳුනාගෙන ඇති බවත්, එම පාර්ශ්ව සමග සාකච්ඡා කර මෙම අසාමාන්‍ය ඇල්ගී වර්ධනය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය මුළික පියවර ගනිමින් සිටින බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙවැනි ඇල්ගී වර්ධනයක් සිදුව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී තිරසර සංවර්ධන පිළිවෙත් නොසළකා හැරීම නිසා විය හැකි බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධව ක්‍රියාකළ හැකි විශේෂඥ දැනුමක් සහිත පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡාවක් ලබන අගහරුවාදා අමාත්‍යාංශයේ දී පවත්වන බවත් ඒ මහතා පවසයි.