බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේද නිසා තුර්කියම ලොක්ඩවුන් කරයි

කොවිඩ්-19 ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති B 1.1.7 නමැති බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරගොස් තිබීමත්, එවැනිම ඉහළ සම්ප්‍රේෂණයක් සහිත B1.617 නමැති ඉන්දියානු ප්‍රභේදයේ ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග ඊයේ (29දා) රාත්‍රී 7.00 සිට තුර්කිය ජාතික වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයකට ගොස් තිබේ.

පළමු වැනි කොවිඩ්-19 රැලිවලදී පවා ජාතික ලොක්ඩවුන් තත්ත්වයකට නොගිය, ලෝකයේ කොවිඩ්-19 පාලනය කළ රටවල් අතරින් හොඳ ස්ථානයක සිටි තුර්කිය පවා සිය පළමු වැනි ජාතික ලොක්ඩවුන් තත්ත්වය වෙත ගමන් කරන්නේ, වෛරසය ආසාදනය වීමේ අනුපාතය රට තුළ අඛණ්ඩව ඉහළ යමින්, එය දැන් යුරෝපයේ ඉහළම අගය බවට පත්ව ඇති පසුබිමකය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මෙම ලොක්ඩවුන් තත්ත්වය දේශීය වේලාවෙන් ඊයේ (29දා) රාත්‍රී 7.00ට ආරම්භ විය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව මුස්ලිම් ශුද්ධ වූ රාමසාන් මාසයේ ඉතිරි කාලය සහ ඊද් අල් ෆිතර් නිවාඩු කාලය පුරා මෙම ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වන්නේ, මැයි මස 17දා  පෙ.ව. 5.00ට එය අවසන් වෙමිනි.

මේ තත්ත්වය සමග ඊයේ රටේ ප්‍රධාන නගර හරහා වීදි, ලොක්ඩවුන් සීමාවන් සඳහා සූදානම් වන තුර්කි ජනතාවගෙන් පිරී තිබූ අතර, රටේ ප්‍රධාන අධිවේගී මාර්ගය රථ වාහනවලින් පිරී ගොස් තිබුණි.

කෙසේ වෙතත් තුර්කි වෙළෙඳ ප්‍රජාව මෙම ලොක්ඩවුන් සීමාවන් ගැන අසතුටින් කතා කරන ආකාරය විදෙස් වාර්තාවල දැක්වුණි.

“එය අපට දුෂ්කර කාලයක් වේවි. අපගේ එළවළු නරක් වේවි. අපට මුදල් උපයන්න අවස්ථාවක් නැතිවේවි. ඉදිරිය අපට දුෂ්කර දින ගණනාවක් වේවි.” එක් එළවළු වෙළෙන්ඳෙකු පැවසීය. නමුත් ඇතැම් ජනතාව සඳහන් කළේ ඊයේ දිනයේ භාණ්ඩ මිල එකකට එකක් වැඩි බවය.

තුර්කිය මුලින් ප්‍රතිචාර දැක්වූයේ අපේ‍්‍රල් මස මුලදී කොවිඩ්-19 ආසාදන වැඩිවීමටය. ඒ රට තුළ ඉහළම දෛනික රෝගීන් හා මරණ වාර්තා වනවිට සමහර කොවිඩ්-19 සීමාවන් දැඩි කිරීමෙනි. නමුත් සඳුදා රජය එම පියවර ඉදිරියට ගෙන ගියේ ජාතික ලොක්ඩවුන් තත්ත්වය නිවේදනය කරමිනි. තුර්කි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 දත්ත අනුව පසුගිය බදාදා එරට නව ආසාදිතයන් 40,444ක් සහ මරණ 341ක් වාර්තා විය.

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිරයන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවය.

ඉදිරි මාස දෙක තුළ එන්නත් ලබාදීමේ යම් ප්‍රමාදයක් ඇතිවීම වළක්වා ගනිමින්, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා කඩිනමින් ජනතාවට ලබාදීමට රජය තීරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව වර්තමාන දින 28ක කාල පරතරය වෙනුවට සති 6 සිට 8 දක්වා කාලය තුළ මාත්‍රා දෙකම ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

B1.617 නමින් හැඳින්වෙන ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 වෛරසය ප්‍රභේදය ආසාදිත වූවන් 5 දෙනෙකු එරටට පැමිණ ඇති බව හඳුනාගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට හුදකලා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර, B1.1.7 නමින් හැඳින්වෙන ඉහළ සම්ප්‍රේෂණයක් සහිත බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය තුර්කියේ වඩාත් ප්‍රචලිතව පවතින බවද ඔහු සඳහන් කළේය.