රේගු ඉතිහාසයේ දැවැන්තම වැටලීම
රුපියල් තිස් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 317 ක් ) වටිනා කිලෝ ග්රැම් 26 ක් බර , රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යාමට සූදානම් වී සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(30දා) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.
මෙම අත්අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ මෙතෙක් සිදු කර ඇති වැඩිම වටිනාකම සහිත රේගු වැටලීම බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් දීර්ඝ කාළයක් ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඒ අනුව 04/30 දින උදෑසන 9.00 කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානයෙන් පැමිණි කොළඹ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු, ඔහු විසින් රැගෙන ආ මෙම රත්තරන් තොගය ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ තබා තිබේ.
එසැනින්ම එතැනට පැමිණි කටුනායක ගුවන් තොටුපළ නඩත්තු අංශයේ තාක්ෂණික සේවකයා, එම රත්තරන් තොගය, ඔහු ඇද සිටි යට ඇදුම් අතර සගවා ගෙන , ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් වී තිබේ. ඔහු ගුවන් තොටුපළ සමීපයෙහි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
මෙෙම ගුවන් තොටුපළ සේවකයා දීර්ඝ කාළයක් තිස්සේ , මෙසේ රත්තරන් ගුවන් තොටුපළෙන් පිට කිරීමේ ජාවාරමක නිරත වී සිටින බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි.
රේගු නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දීර්ඝ කාලයක් , මොහු අත් අඩංගුවට ගැනීම සදහා ආවේක්ෂණ රාජකාරී කටයුතු වල නියැලී තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් රත්තරන් තොගය තුළ ග්රැම් 100 සහ ග්රැම් 116 බැගින් බර රන් බිස්කට් 147 ක් සහ කිලෝ ග්රැම් 10 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් ද විය.
ගුවන් තොටුපළ නඩත්තු අංශයේ සේවකයා සහ රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි සැක කරන ගුවන් මගියා ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.