චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් එන්නතට WHO අනුමැතිය
චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් -19 එන්නත ගෝලීය වශයෙන් හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අද (07) හිමිවී තිබේ.
මේ අනුව, ලොව රටවල් අතර එන්නත් සමානාත්මතාවය ඇතිකිරීම සඳහා ආරම්භ කෙරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම සඳහා ද සිනෝෆාම් එන්නත ඇතුළත් කිරීමට මෙමගින් ඉඩකඩ සැලසේ.
මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන්නේ මෙම එන්නත, වයස 18ට වැඩි පුද්ගලයන්ට නිර්දේශ කරන බවත්, සති 3-4ක කාල පරාසයක් අතර මාත්‍රා දෙකක් ලබාදිය යුතු බවත්ය. එන්නත් කාර්යක්ෂමතාවය 79% ක් බවත් එහි දැක්වේ.
ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය පිළිබඳ WHO සහකාර අධ්යක්ෂ ජනරාල් මාරිඇන්ගෙලා බැටිස්ටා ගැල්වාවෝ සිමාවෝ මහත්මිය පවසා ඇත්තේ මෙම එන්නතද අනුමැතිය ලද එන්නත් අතරට එක්වීම මගින් සෞඛ්‍ය සේවකයින් හා අවදානමට ලක්ව සිටින ජනයා ආරක්ෂා කිරීමට එන්නත් අපේක්ෂා කරන රටවල් වලට කොවිඩ් එන්නත් ප්‍රවේශය වේගවත් කිරීමට හැකියාව ඇති වන බවයි.
COVAX පහසුකමට සහභාගී වී වඩාත් සාධාරණ ලෙස එන්නත් බෙදා හැරීමේ ඉලක්කයට දායක වන ලෙස අප මෙහි නිෂ්පාදකයාගෙන් ඉල්ලා සිටිනවා, යැයි ඇය පවසා ඇත.
පසුගිය ඔක්තෝබරයේදී චීනය COVAX වැඩසටහන හා එක්වූ අතර, චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා – හුවා චුන්යින් මහත්මිය පවසා තිබුණේ විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් සමානව බෙදාහැරීම සහතික කිරීම සඳහා චීනය මෙම පියවර ගන්නා බවයි.
සිනෝෆාම් එන්නත China National Biotec Group හි අනුසමාගමක් වන Beijing Bio-Institute of Biological Products Co Ltd, විසින් නිපදවනු ලබයි.
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් එන්නතටද අනුමැතිය ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබන සතියේදී සලකා බලනු ඇත.
එන්නත ලබාදීමට ඇති හැකියාව බලන්න – ජනපති
මාර්තු අග සිනෝෆාම් COVID-19 එන්නත් තොගයක් ලංකාවට ලැබුණු නමුත්, එම එන්නතට මේ දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී නැති බැවින් එය මෙතෙක් ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයන් හට පමණි.
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව චීනය විසින් සිනෝෆාම් COVID-19 එන්නත් මාත්‍රා ලක්ෂ 06ක ප්‍රදානයක් සිදුකළ අතර, එම තොගය මෙරටට පැමිණියේ මාර්තු 31දාය.
අද පෙරවරුවේදී කොවිඩ් කමිටුව හමුවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබුණේ රටවල් 51ක මිලියන 55කට අධික ජනතාව හට සිනොෆාම් එන්නත සාර්ථකව ලබාදී ඇති බවත්, එම රටවල සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.
වැක්සීන් මෛත්‍රී නැවතෙයි
අප්‍රේල් මාසයේ උදා වූ සිංහල හා හින්දු අවුරුදු සමයෙන් පසුව, මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාගත ලෙස වැඩිවී තිබෙන අතර, මේ දක්වා ලබාදී ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදීම පසුගිය 28දා ආරම්භ කිරීමට රජය විසින් කටයුතු යොදා තිබුණි.
කෙසේවෙතත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග ඉන්දියාවෙන් ලැබීමේ ප්‍රමාද හේතුවෙන් මේ වන විට ගැටළුකාරී මට්ටමක් ඇති වී තිබෙන බවද වාර්තා වේ.
පසුගිය සතියේදී ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබුණේ සිය අසල්වාසී රටවල් සඳහා කොවිඩ් එන්නත් ලබාදෙන ‘වැක්සීන් මෛත්‍රී’ වැඩසටහන ජූලි මාසය තෙක්වත් යළි ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවයි.
ඉන්දියාවේ මේ වනවිට පවතින දරුණු කොවිඩ් රැල්ල හේතුවෙන් එරට සීරම් ආයතනය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අපනයනය කිරීම නතර කර ඇති අතර, මේ හේතුවෙන් එම එන්නත් ඇණවුම් කර තිබූ ලංකාව ඇතුළු රටවල් කිහිපයකම එන්නත් වැඩසටහන් වලට බලපෑමක් ඇතිවිය.