ඉන්දියානුවන්ගේ ජීවිත රකින්න ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය ඉන්දියාව බලා නික්මෙයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවේ රෝහල්වලට අවශ්‍ය ටොන් 18 ක් බරැති ඔක්සිජන් ජනක 03ක් සහ වෙන්ටිලේටර් යන්ත්‍ර දහසක් රැගත් ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරින් ඊයේ ඉන්දියාව බලා නික්මුණා.

අඩි 40 බහාලුමක් තරම් විශාල එම සෑම ඔක්සිජන් ජනක යන්ත්‍රයකින්ම මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් 500 ක් නිෂ්පාදනය කළ හැකි අතර එය එක්වරක රෝගීන් 50 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත්.

ජීවිතාරක්ෂක මෙහෙයුමක් ලෙස ඉන්දියාවේ රෝහල් වලට සහය වීම සඳහා එම ඔක්සිජන් ජනක ඉන්දියාව වෙත යැවූ බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් ප්‍රකාශ කළේ.

කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ කැපී පෙනෙන ලෙස ඉහළ යෑමත් සමඟ දකුණු ඉන්දියාවේ කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කළා.

කර්නාටක ප්‍රාන්තය අනිද්දා සිට ලබන 24 වැනිදා දක්වා වසා තැබෙන බව ප්‍රධාන අමාත්‍ය යෙදියුරප්පා ඊයේ ප්‍රකාශයට පත් කළා.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳසැල් පමණක් දහවල් කාලය තුළ විවෘතව තැබෙනු ඇති.

කෙසේ නමුත්, අනෙකුත් කඩ සාප්පු, හෝටල්, අවන්හල් සහ කර්මාන්ත ශාලා සියල්ල වසා තැබීමටයි ප්‍රාන්ත බලධාරීන් නියෝග කළේ.

එමෙන්ම, සඳුඳා සිට මුළුමනින්ම ඇඳිරි නීතිය පනවා සති දෙකක කාලයක් සඳහා තමිල්නාඩු ප්‍රාන්තය වසා තබන බව ප්‍රාන්ත රජය අද උදෑසන නිවේදනය කළා.