කොවිඩ් රැල්ලට යටවූ මෝදිට G7 විශේෂ අවස්ථාව මගහැරේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජුනි මාසයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව සඳහා එක්සත් රාජධානියට නොයන බව ඉන්දීය රජය පවසයි.
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ආරාධනයෙන් ජුනි 11-13 දිනවල කෝර්න්වෝල් හි පැවති G7 සමුළුවට අගමැති මෝදි විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වීමට මුලින් සැලසුම් කර තිබුණි.
“පවතින කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් G7 සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන ලෙස එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් විසින් කරන ලද ආරාධනය අගය කරනවා. නමුත් G7 සමුළුවට අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව සහභාගී නොවන බව තීරණය කර තිබෙනවා” විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙය වසර දෙකකින් පසුව රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවීමේ පළමු වැනි සමුළුව වෙයි.
කොරෝනා වසංගතය සහ ගෝලීය ආර්ථිකයන් කෙරෙහි ඇතිකළ බලපෑම ඇතුළු රාජ්‍යයන් හවුලේ විඳින අභියෝග පිළිබඳව G7 නායකයින් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව සමග මෙසේ ඉන්දියාවටද මෙවර ආගන්තුකයෙකු ලෙස ආරාධනා කර තිබුණි.
අගමැති මෝදි 2019 අගෝස්තු මාසයේදී ප්‍රංශයේ පැවති G7 සමුළුවට සහභාගී වී ඇති අතර, එක්සත් ජනපදයේ 2020 සමුළුවට ආරාධනා ලැබුණත්, එම සමුළුව කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කෙරිණි.
දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍ය ලෙස ඉන්දියාව අත්විඳ ඇති කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑම කෙරෙහි අගමැති මෝදි මෙන්ම, පාලක පක්ෂය දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති පසුබිමක, ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුවක් වෙත පැමිණීමද මෝදිට රෙදි ඇඳගෙන කළ නොහැක්කක් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.