නේපාලයේ කොවිඩ් ආසාදන පැතිරීම අඛණ්ඩව වේගවත්ලු
නේපාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ඊයේ (14දා) දිනයේදී අඛණ්ඩව 10 වැනි දිනටත් නව කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 8,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ඒ අනුව නේපාලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 439,658ක් සහ මරණ 4,669ක් දැනට වාර්තා වී ඇත. එහිදී පසුගිය දින 10 තුළ දී පමණක් නේපාලයේ මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගෙන් 20%ක් සහ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණවලින් 1/4ක් සටහන් වීමද අතිශයින්ම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති නේපාලයට සහාය දීමට චීනය ඔක්සිජන් සිලින්ඩර 20,000ක් ලබාදීමට කටයුතු කර ඇති අතර, මේ වනවිට එහි දෙවැනි කාණ්ඩය ඔවුන් අපේක්ෂාවෙන් සිටියි. නේපාලයේ චීන තානාපතිවරයා විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයකට අනුව එහි දෙවැනි කාණ්ඩය ඉදිරි දින කිහිපය තුළ කත්මණ්ඩු නුවරට පැමිණෙනු ඇත.
මේ අතර එක්සත් ජනපද අන්තර්ජාතික කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජෙරමි කොනෙන්ඩික් එරට සෙනෙට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුවේදී කියා සිටියේ ඉන්දියාව සමග මේ වනවිට නේපාලයද ආසාදන ඉහළ යෑමේ ප්‍රමුඛතාවක් ගෙන ඇති බවය.
“පසුගිය සති කිහිපය තුළ තවත් ඩොලර් මිලියන 10ක් වෙන්කළා. අතිරේක ආධාර ප්‍රවාහනය කිරීමට මෙන්ම, ඕනෑම ආකාරයක ආධාරයක්, විශේෂයෙන් රෝග විනිශ්චය සහ පරීක්ෂණ කට්ටල සඳහාද අප සැලසුම් කරමින් සිටිනවා.” කොනින්ඩික් පැවසීය.