පළමු මාත්‍රාවෙන් සති පහකට පසුව ආසාදන, මරණ පහළට

කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධයෙන් ඉතාලියේදී සිදුකළ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ, කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ජනතාව වෙත ලබාදී සති 5කට පසුව ආසාදිතයන්ගේ සහ මරණවල සැලකිය යුතු පහළ යෑමක් පෙන්නුම් කළ බවයි.

එරට එන්නත්කරණයට යොදා ගන්නා ෆයිසර්-බනෝඑන්ටෙක්, මොඩෙර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වල පළමු වැනි මාත්‍රාවෙන් සති පහකට පසු සෑම වයස් කාණ්ඩයකම වැඩිහිටියන් ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදන 80%කින් පහත වැටී ඇති බව ඊයේ (15දා) ප්‍රකාශයට පත් කරන ලද ඉතාලි පර්යේෂණය වැඩිදුරටත් සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුරෝපීය සංගමයේ රටක ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයේ සැබෑ ලොව බලපෑම පිළිබඳව මෙවැනි අධ්‍යයනයක් පළමු වැනි වතාවට කරනු ලැබුවේ ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වෙමිනි.

2020 දෙසැම්බර් 27 වැනි දින ඉතාලියේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ වූ දින සිට 2021 මැයි 03දා දක්වා වූ දත්ත විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරන ලදී.

එහිදී මූලික එන්නත ලබාදී පළමු වැනි සති දෙකෙන් පසුව SARS-CoV-2 ආසාදනය, රෝහල් ගතවීම සහ මරණයට පත්වීමේ අවදානම ක්‍රමයෙන් අඩු වී ඇති බව විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇත.

“පළමු මාත්‍රාවෙන් දින 35කට පසුව, එනම් සති 5කට පසුව, කොවිඩ්-19 ආසාදන 80%කින් අඩුවීම, 90%ක් රෝහල් ගතවීම් අඩු වීම සහ 95%ක්ම මරණ අඩුවීම දක්නට ලැබුණා” යැයි ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනය පවසයි.

“මේ දත්ත මගින් එන්නත් කිරීමේ ව්‍යාපාරයේ ඵලදායීතාව වගේම, වසංගතයේ හදිසි අවස්ථා අවසන් කිරීම සඳහා සමස්ත ජනගහනය වෙත ඉහළ එන්නත් ආවරණයක් ලබාගැනීමේ අවශ්‍යතාව තවදුරටත් සනාථ කරනවා” ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයේ සභාපති සිල්වියෝ බෘසෆෙරෝ සඳහන් කළේය.

ඉතාලි අධ්‍යයනයට ඇතුළත් කර ඇති මිලියන 14කට ආසන්න ජනතාව අතර, ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා ගත් අයගෙන් 95%ක්ම එන්නත් චක්‍රය සම්පූර්ණ කර තිබුණත්, ඇස්ට්‍රාසෙනෙකා ලබාදුන් කිසිවෙකුට දෙවැනි මාත්‍රාව ලැබී නොතිබුණි.

මේ දක්වා, ඉතාලිය නිෂ්පාදකයන්ගේ නිර්දේශ අනුගමනය කරමින්, පළමු වැනි එන්නත් මාත්‍රාවෙන් සති තුනකට පසුව ෆයිසර් දෙවැනි මාත්‍රාවද, සති හතරක පරතරයකින් පසු මොඩෙර්නා දෙවැනි මාත්‍රාවද ලබාදී ඇති අතර, සති 12ක පරතරයකින් පසු ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදීමට සූදානමින් සිටියි.

ඊයේ (15දා) උදෑසන වන විට ඉතාලියානුවන් මිලියන 8.3ක් හෙවත් ජනගහනයෙන් 14%ක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇති අතර, මිලියන 10ක පමණ ජනතාවකට පළමු වැනි එන්නත් මාත්‍රාව ලැබී තිබුණි.