තවත් පැය කිහිපයකින් දිවයිනටම සංචරණ සීමා – නීති කඩන අය සොයන්න පොලීසියේ 22,000ක්
දිවයින පුරා දැඩි සංචරණ සීමා තවත් පැය කිහිපයකින් ක්‍රියාත්මක වීමට නියමිතයි.
අද රාත්‍රී 11 ට ආරම්භ වන සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලුයම 4 ට තාවකාලිකව ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.
එහෙත්, එදිනම රාත්‍රී 11 ට දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා යළි පැනවෙනවා. එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ 28 වන සිකුරාදා අලුයම 4ටයි.
මේ අතර, සංචරණ සීමා පැනවෙන කාලසීමාව තුල ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරින්ට උපදෙස් ලබා දුන්නා.
ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් මත සියලු තීරණ ගෙන ඇති බැවින් ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බලධාරින් අතර පැවති සාකච්ඡාවෙන් පසු ගනු ලැබූ තීරණ පිළිබඳ පැහැදිලි කිරීමට රජය ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
ඊට එක්වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ 24 සහ 25 යන දෙදින දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි.
කෙසේ වෙතත්, ලබන 27 සහ 28 යන දෙදින ද ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන 7ක් විවෘතව තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව, දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ හා ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘතව තැබෙනවා.
සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවර කටයුතුවලට සහ මත්ස්‍ය තොග වෙළඳාමට අවහිරතාවක් නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
මේ අතර, රජය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් ආරම්භ කරන බවයි.
මේ අතර, අද රාත්‍රියේ සිට දින 3ක් ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් අද වෙළඳසැල් වෙත පැමිණි තත්ත්වයන් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
සංචරණ සීමා පැනවෙන කාලසීමාව අතරතුර සිදුකරනු ලබන සීමා ලිහිල් කිරීම් වලදී භාණ්ඩ මිලදී ගැනීමට එක්රැස් නොවන ලෙසත්, පදිංචි ස්ථානවලින් පිටව යාමට උත්සාහ නොකරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.