අප්‍රිකානු කොංගෝවේ ගිනි කන්දක් පුපුරයි

අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නීරගොංගේ ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඒ අවට මිලියන සංඛ්‍යාත ජනතාව දැඩි අවදානමකට මුහුණදෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

ගිනි කන්ද කොංගෝවේ නැගෙනහිර ගෝමා නගරයට ඔබ්බෙන් රාත්‍රි අහස ඒකාලෝක කරමින් ලාවා සහ ගිනි කඳු දුමාරය ගුවනට මුසුකර තිබෙනවා.

ගිනි කඳු ලාවා ගලා එන ප්‍රදේශයේ ජනතාව දහස් ගණනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගිනි කන්දට කිලෝමීටර් 10 ක් මෑතින් පිහිටි ගෝමා නගරයේ මිලියන දෙකක පමණ ජනගහනයක් වාසය කරනවා.

රජයේ නිවේදනය නිකුත්වීමට පෙර සිටම එහි ජනතාව සිය මෙට්ට සහ ඇඳ ඇතිරිලි ඇතුළු තමන් සතු දෑ රැගෙන රුවන්ඩා දේශසීමාව වෙත ගමන් ගත් බව සඳහන්. යාබද රුවන්ඩාවටද නීරගොංගේ ගිනි කන්දේ පිපිරීමෙන් අවදානමක් පවතින බවයි විදෙස් වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

2002 වසරේ මෙම ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් පුද්ගලයින් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, එක්ලක්ෂ 20,000 කට පමණ උන්හිටිතැන් අහිමි වුණා.